Day 01

උදේ පාන්දරම දොරකඩ හිටගෙන උන්නේ හත් මුතු පරම්පරාවටම අපේ ගෙදරට අඩිය නොගැසූ පුද්ගලයන් කිහිප දෙනෙකි. නැවත වතාවක් අති සාර්ථක ලෙස මුලු පරම්පරාවේම මූණුවල දැලි ගෑමෙන් උපන් ගර්වයෙන්, මම දොරකඩ පොලිස් නිළදාරීන්ට සිනාවකින් සංග්‍රහ කළේ සංග්‍රහ කිරීමට බිස්කට් රොඩ්ඩක්වත් ගේ හරියේ නැති වග සිහිපත් වූ නිසාය.

“මේ මහත්තයා නේද මේ ගෙදර ඉන්නෙ” ?

“මෙච්චර කල් නම් මම තමා හිටියෙ, අදින් පස්සෙ මොනවා වෙයිද දන්නෙ නෑ. මෙච්චර කාලෙකට අපේ ගෙදරට පොලිසියෙන් ඇවිල්ල නෑලු “

“මහත්තයාට විරුද්දව මේ ප්‍රදේශවාසී හිතවතුන්ගේ නොමසුරු ආදාරයෙන් පැමිණිල්ලක් කරල තියෙනවා”

“ඒ මොකෝ රාළහාමි ඒ ? ” මම අතිශය පුදුම සහගත බැල්මක් මුහුණට නගාගත්තේ , ප්‍රදේශවාසීන් කෙරෙහි ඇතිවූ නොමද ආඩම්බරය වසාගනිමිනි.

“ශබ්ද දුශනය, තමා පැමිණිල්ල”

“ඇ?” දූශනය “ශබ්ද” වීම ගැන සැනසිල්ලෙන් මම නැවත පුදුම වූයෙමි

“අනානාආආ…අර ඉන්නෙ අයියා…අනා සෝ සුඊට්” ඊළඟ පුදුමය ආවේ පාර දෙසින් අප සිටින දිශාවට දුවගෙන එන කෙල්ලන් රෑනකිනි. මෙතුවක් පාරේදී මූණවත් නොබැලූ සැට් එක සුවඳ කොළ, පුල්ස්කැප්, කොපි පොත්, ලයිට් බිල් කොළය පවා අරන් එන්නේ මගෙන් ඔටෝ ග්‍රාප්ස් ගැනීම පිණිසය.

“අනා අයියා එකම එක වතාවක් කියන්නකූ”

මොකක්ද යකෝ මේ කියන්නේ

ඊළඟට ආවේ ටීවී චැනල් වල අන්රියලිස්ටික් රියලිටි ටීවී සෝ කරන සැට් එකකි. කොරෝනා කාලේ ලෙඩ්ඩු පස්සේ කැමරා අටවන් දිවූ ඔවුන්ට දැන් ලෙඩ්ඩු අඩු නිසා වෙනත් ජීවන මාර්ගයක් සොයාගැනීමට සිදුවී ඇත.

හැමෝගෙම ඉල්ලීම වූයේ එකකි.

“අනේ එකම එක සිංදුවක් කියන්නකෝ”

මට සිංදුවක් කියනවා තබා තාලෙට කට ඇරීමටවත් බැරිබව දස අතේ දිවුරා කීවද කිසිවෙකුත් පිළි නොගත් හෙයින් ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට මම කට ඇරියෙමි.

“දිල්වාලේ පුචනේ ක….”

එහා ගෙදර බල්ලා උඩු බිවුවේය.

එවිට කට පැත්තකට ඇල වූ අතර දවස් කීපයක් තිස්සේම නිදි නොලැබීමට හේතුවූ සර්වරාත්‍රික වේදනාව නැවතත් මතු විය.

“ආආආආආආආආආආ අ අ අ ආආආආඅ……ආ… ආ… ආආ…ආආ” වේදනාව වැඩිකමට කට බදාගෙන මම බිම ඉඳගත්තමි.

“ආආඅ..ආ….ආආආ..ආආආආආ……..අ…අ…..අ….අ…ආආආආආ”

ටිකකින් ඇස් ඇර බලන විට අහල පහළ නංගිලා රොයල් වෙඩින් ඩාන්ස් දමති. ටීවී කාරයෝ රෙකෝඩ් කරති. ආච්චිලා මාර්ග ඵල ලබාගෙනය.පොලිස් කාරයෝ ආද්‍යාත්මික සුව විදිති.

මම බිම ඉඳගෙන ඉන්දියන් බජන් ගායකයෙක් මෙන් “අ” යන්න පමණක් අදිමි

“ආආආආආආඅ……ආආ…ආ..ආ..ආආආ”

ටීවී චැනල් එකක පුද්ගලයෙක් එතැන සිටිම සජීවී විකාශයක් ආරම්භ කළේ සියවසේ සිංහල සුභාවිත ගීතයේ අමරණීය හඬ සුවහසක් ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට ලබා දීම පිණිසය. ඉන්පසු ඇඩ් එකක් දමා කීයක් හෝ සොයාගැනීම පිණිසය.

“සිංදු නෙවේ යකුනෙ…මගෙ මේ දතක් රිදෙනවා” වේදනාව මැදින්ම මම කෑගැසුවෙමි. ඇතැම් පිරිසක් එය රැප් එකක කොටසක් යැයි සිතා “යෝ..යෝ නිගා” කීවත්, සාමාන්‍ය දැනීම ඇති පිරිසකගේ මෙහෙයවීමෙන් සිහි නැති වීමට ඔන්න මෙන්න සිටි මාව ළඟම තිබෙන ක්ලිනික් එකක්ට ඔසවා යැවින.

ලිස්සන බෝට්ටුවක් මෙන් ඇල දත් පුටුවේ දිගාවූ මට දත් දොස්තර මහතාණෝ දුන් මුල්ම උපදෙස “කට හොඳට අරින්න” යන්නයි. තවත් “ආආආආආආඅ” එකක් සමඟ වික්ටෝරියා ජලාශයේ වාන් දොරටුවක් මෙන් ඇරුණු කට තුළට රිංගූ එතුමාණෝ, මගේ මූණ දෙස බලමින් කල්පනා කරන්නට වූහ

“හක්කෙ දතක ලොකු කුහරයක්නෙ”

“අව්…ආව් හෑඌව් බ්ල්‍රමර්ජ් අහ්ක්ඣ්”

“ආ දැන් කට පාත් කරලා උත්තර දෙන්න”

“ඒක තමා.. දවස් ගානක ඉඳන් රිදෙන්නෙ ආආආආ”

“කොහොමද ඉතින් ඔය කුහරෙ ආවෙ”

“අනේ මං නම් හෑරුවෙ නෑ”

“දත් මදින එක එහෙම හොඳට කෙරෙනවද? දවසට දෙපාරක්?”

“දෙපාරක්? ඒක දත් බේත් කම්පැනි බඩු විකුණගන්න ගහන ගැටයක් නෙවේද?

” නෑ. මොකද කුහර ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් තමා ඕක. දත් උඩ රැදෙන කාබෝහයිඩ්‍රේට් තියෙන කෑම, පාන්, කිරි, සෝඩා, රස කැවිලි”

“කොත්තු?”

“ඔව් කොත්තු..ඉතින්..”

“පරාටා?”

“ඔව් ඔව් පරාටත්…ඒ කෑම ජාති කට ඇතුළෙ තියෙන බැක්ටීරියා එක්ක ප්‍රතික්‍රියා කරලා ඇසිඩ් එකක් බවට පත්වෙනවා. අන්තිමේදි වෙන්නෙ මේ ඔක්කොම එක්ක දතේ එනැමල් එක දියවෙන්න ගන්න එක.ඊට පස්සෙ තමයි කුහරයක් දතේ හැදෙන්න…”

“දැන් මහත්තයෝ මගේ කුහරෙ ගොඩක් ගැඹුරුද?”

“හ්ම්.. පේන විදියට ඒ වගේ. දතේ උඩම කොටස එනැමලෙත් දිය වෙලා, ඊළඟ කොටස වෙන දන්තීනයත් දිය වෙලා වගේ. ඒ කියන්නේ දැන් අපි කල්ක කුහරය කියන කොටසට වෙනකල්ම කුහරය ගිහින්. කල්ක කුහරයේ තමයි දතට එන ස්නායු අඩංගු වෙන්නෙ. ඒකයි ඔච්චර වේදනාව. හොඳටම දැනගන්නනම් x- ray එකක් ඕන වෙයි.

” ඒකනෙ… මුලිං ලොකු සැරට තිබුන් නෑ. දැන්නෙ මේ. දුං විසිවෙන්නෙ. දුං “

“ඕක තමා ගොඩක් අයගෙ තියෙන වැරැද්ද. දන්තීනය වෙනකල් කුහරය ආවාම අපිට වේදනයි සීතල දෙයක් හරි උණුසුම් දෙයක් හරි දතේ ගෑවුනාම. ඒ උනාට ඒ මට්ටමේදි ඕක හොඳ කරගන්න ලේසියි. එතනදි ලේසියෙන් දත පුරවන්න පුළුවන්”

හක්කෙ දතක් නොමැතිව මේ සමාජය මා මුහුණ දෙන්නේ කෙසේදැයි එවෙලෙහි මට ප්‍රශ්නයක් ඇති වුවත්,එය සංසිඳුනේ ඊටත් වඩා සමාජයට මුහුණ දිය නොහැකි දේවල් මවිසින් කර ඇති වග සිහිපත් වීම නිසාය.

” ඒ කියන්නෙ ඩොක්ට දැන් මේ දත ගළවන්න වෙයි නේහ්?”

“මෙහෙමයි, සමහර විට ඔයා අහල ඇති ස්නායු පිරවීම නැත්නම් නර්ව් ෆිලින් කියලා එකක් ගැන. ඒකෙන් කරන්නෙ එකෙන් පස්සෙ අර මම කිව්ව කල්ක කුහරය හොඳට සුද්ද කරලා සුදුසු විදියෙ පිරවුමක් දැමීම”

“ඈ ඒ කියන්නෙ වළක් ගොඩ කරනවා වගේ දත ගොඩ කරනවා?”

“ඔව්! කරන දෙයක් ඉක්මනට කරන තරමට හොඳයි, නැත්නම් මාරාන්තික තත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්”

“තවත් දත් මේ විදියට නරක් වෙන එක නවත්තගන්න ෆ්ලෝරයිඩ් තියෙන ටූත්පේස්ට් එකකින් දත් මදින්න. පැණි රස, බිස්කට් වගේ දේවල් කන එක සීමා කරන්න. වෙන ඕනම ප්‍රශ්නෙකට මේ “කටවහ ක්ලිනික්” එකට එන්න”

“ඈ කටවහ වලටත් ප්‍රතිකාර කරනවද? මටත් මේ ටිකේ මෙලෝ වගතුවක් නෑ. අනිවාරයෙන්ම අර පජාතසේකරගෙ කටවහ. මම කිව්ව මිනිහට මගෙ එකවුන්ට් එකේ රුපියල් හාරදාහක් තියෙනවා කියලා. බුදු අම්මෝ එච්චර කිව්ව මිනිහා….දැන් ඒකට…”

“නෑ නෑ මෙතන අපි ප්‍රතිකාර කරන්නෙ තමන්ගෙම කටේ ඇතිවෙන වහ වලට. ඒවා ඔය කට්ටිය මොනවහරි කිව්වාම එන කටවහ වලටත් වඩා භයානකයි.”

“ආ ඒකත් එහෙමද?”

‌මම දත් දොස්තරට සමු දී එළියට ආවෙමි. අර කෙල්ලන් රැළත් මීඩියා කාරයෝත් තවමත් එළියේ කදවුරු ලාගෙනය.

“අනී අයියා එක්කම එකක් කීන්නකෝ.. පීස්”

‌මම නැවත මගේ සුමිහිරි කටහඩ ප්‍රචාරය කළෙමි.

දැන් උන් ටික ඉස්සර කාලේ සේම මගේ මූණවත් නොබලති. ගැහැණු මා පාරේ එනවිටම ළමයි ගෙතුළට දමාගෙන දොර වසාගනිති.

මතු සම්බන්දයි!

 

Leave a Reply

Your email address will not be published.